ජීවිතයට මැණික්
ග්‍රහයන්ට හිමි මැණික්
* රවි (හිරු) – පද්මරාග (Pink sapphire)
* චන්ද්‍ර (සදු) – මුතු (Pearl)
* කුජ (අඟහරු) – රතු (Ruby)
* බුධ – පච්ච (Emerald)
* ගුරු (බ්‍රහස්පති) – පුෂ්පරාග (Yellow Sapphire)
* ශුක්‍ර (සිකුරු) – දියමන්ති (Diamond)
* ශනි (සෙනසුරු) – නිල් (Blue Sapphire)
* රාහු – ගෝමේද (Hessonite)
* කේතු – වෛරෝඩි (Cat’s Eye)
පද්මරාග – පද්ම යනු නෙළුමට තවත් නමකි. පද්මරාග යනු නෙළුමක පැහැය ඇති බවයි. රවි හිමි පද්මරාග පැළඳීමෙන් ධනය, බලය නායකත්වය ලබයි. එහෙත් පළුඳු වූ පද්මරාග පැළඳීම නිසා පිරිහීම, ධන ධාන්‍ය විනාශය, අපවාදය මෙන්ම භය ද ඇතිවන බව කියා තිබේ.
මුතු – මුතු වර්ග අටකි. ඇතුන්ගෙන්, නාගයන්ගෙන්, සක්වලින්, උණගස් වලින්, මත්ස්යයන්ගෙන්, අකුණු වලින්, සූකරයන්ගෙන් හා බෙල්ලන් ගෙන් මුතු හට ගනී. බෙල්ලන්ගෙන් ලැබෙන මුතු බහුලය. මුතු පැළඳීමෙන් සෞභාග්‍යය, බුද්ධි වර්ධනය හා කීර්තිය ලැබෙන අතර සඳු ග්‍රහයා අධිපති වෙයි.
රතු – රතු කැට නමින් හඳුන්වන මෙය පැළඳ ගැනීමෙන් ධෛර්යය, වීර්යය, ඇතිකර ආයුෂ වර්ධනය කරන බව කියා තිබේ. කුජ ග්‍රහයා අධිපති වෙයි.
පච්ච තෝර / මරකත – මරකත පැළඳීමෙන් බුද්ධි වර්ධනය සහ දේවාකර්ෂණය ලැබේ. මරණයෙන් එතෙර කරන්නේය යන අරුතින් මරකත යන නම සෑදී තිබේ.
නිල් – නිල් මැණික් වර්ග රාශියක් ඇත. ශනි හිමි මැණික කාක නිල නම් වෙයි. එය කළු නිල් පාටින් යුක්තය. පැළඳීම මගින් ඉවසීම, ගැඹුරු ඥානය, දරා ගැනීමේ ශක්තිය හිමි වේ.
ගෝමේද – ගව මුත්‍රවල පාට ඇති යන අර්ථයෙන් ගෝමේද නම් වන්නේය. රාහු ග්‍රහයා හිමි වෙයි. රතු මිශ්‍ර කහපාට මෙම ගල පැළ ගැනීම මගින් ශුභ පල උදා කරන අතර පළුදු වූ ගෝමේද නිසා සම්පත් හා වීර්යය හානිකරන බව කියා තිබේ.
වෛරෝඩි – බළල් ඇස් මෙනි. මෙම මැණික පැළඳ ගැනීමෙන් වාත හා සෙම් දෝෂ සනස බවත්, පෝෂණ ඌණතා නිසා ඇතිවන ශාරීරික දුර්වලතා සමනය කරන බවත් කියා ඇත. වෛරෝඩි කේතු ග්‍රහයාට හිමි වෙයි.
පුෂ්පරාග – කහ පාටින් යුක්ත මෙම ගල බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාට හිමිවෙයි. කීර්තිය, ඥානය සැප වර්ධනය කරන මෙම ගල පැළඳ ගැනීමෙන් ස්ත්රීන්ට පුත්‍ර ලාභ හෙවත් දරු සම්පත් උදාකරන බව කියා තිබේ.
දියමන්ති / සුදු – සිකුරු හෙවත් කිවි ග්‍රහයාට හිමි දියමන්ති පැළඳිම සතුරු භය හා විෂ මර්දනය කරන බව කියා ඇත. එහෙත් දරුවන් අපේක්ෂා කරන යුවතියන්ට දියමන්ති දැරීම සුදුසු නැති බව කියා තිබේ.
මැණික් මතට ආලෝකය හෝ වෙනත් කිරණ වර්ගයක් වැටුනු විට එයින් කොටසක් ගල මැදින් ගලා ගොස් නිකුත් වන අතර තවත් කොටසක් පරාවර්තනය වන්නේය. තුන්වැනි කොටසක් ගල තුළම රැඳේ. මේ රැඳෙන කොටස වෙනත් ශක්තීන් බවට පත් වී ගලෙන් නිකුත් විය හැකිය. මැණික් පැළඳීමේදී ශරීරය හා මනස සහ සංයෝගයට මෙම කිරණ බලපායි.
යමෙකුගේ සෙනසුරු අපලයක් ඇති විටෙක කාක නිල මැණික ශුභ ඵල උදා කරන්නේ උපතේදී සෙනසුරු බලවත් අයට පමණි. මෙවැනි අපල ඇති අයට කාක නිල පැළඳීම මෝස්තරයක් වී ඇති නමුත් එසේ පැළඳගත් අයගේ අපල අඩුවනවා වෙනුවට වැඩි වූ බවත් සමහර විට එය මරණයට පවා හේතු ඇති බව රහසක් නොවේ. මැණික් පැළඳීමේදී තමාට අසුබ පල උදාකරන ග්‍රහයාගේ මැණිකක් පැළඳීම අසුබ පල තවත් වැඩි වීමට හේතු වේ. නිවැරැදිව කළ යුත්තේ යමකුට අසුබ පල ගෙන එන ග්‍රහයාට වඩා ප්‍රබල සුභ ග්‍රහයකුගේ කිරණ ලබා ගැනීමයි. මැණික් පැළඳීමේදී වඩාත් පරීක්ෂාකාරී විය යුතුය. ඒ නිසා ජ්‍යොතිෂ විද්‍යාව තුළ නිර්දේශිත ක්‍රම ගණනාවක් පවතිිින බැවින් එයින් සුදුසු ක්‍රමයක් අනුගමනය කිරීමට ජ්‍යොතිෂ්‍යවේදියා දැන ගත යුතුය.
දෝශ ගත් කල ත්‍රාසය හෙවත් භින්නය දෝෂය යනු ගල මැදින් පැළී ඉරක් හටගෙන තිබීමය. මෙම ගල් පැළඳීම පවුලේ සමගිය බිඳවැටීමට අඩදබරවලට දුක් වේදනාවලට මුල් වනු ඇත. මැණික් ගල් මුදුනේ තුඩුවක් නොතිබීම හින්ත පටලය හීන්ත දෝෂය වේ. මෙම ගලක් පැළඳීම නිසා අසල්වාසීන් හා නෑදෑයන් අතර ගැටුම්වලට, නොයෙක් විපත්වලට හේතු වනු ඇත. කෙසෙල් බඩයක් දෙකට කැපූ විට පවතින ආකාරයට මැණික් ගලක් නූල් ඇති ලෙස දැකීම ජීර්ජ දෝෂයි. මෙය ජීවිත හානියටත් එහා සමාන විපත් යෙදීමටත් හේතු වේ. මැණික් ගලේ එක පැත්තක සුදු පැහැගැන්වී තිබීම ප්‍රකෘති පටලය නම් වේ. මේ ගල් වර්ගය පැළඳීම නිසා රැකියාවේ සතුරන් ඇතිවීමට, නොයෙකුත් කරදරවලට හේතු වේ. නීල මණ්ඩලි දෝෂය නිල් හා රතුපාට එකිනෙක ගැනී විරූපී වීමය. මෙවැනි මැණික් ගල් පැළඳවීම ස්නායු දුර්වලතා, අංශභාගය වැනි රෝගවලට හේතුවනු ඇත. මැණික් ගල්වල පවතින දෝෂ අතර අප වැඩිපුරම කතා කරන නිල් මැණික්වල මැද රතුපාට ලේ බඳක් වැටී ඇති අයුරින් වැලි කැට විසිරී ගිය ආකාරයට තිබීම සුදු හුනු පිරියම් කළ ලෙස තිබීම දැක්විය හැකිය. මෙම දෝෂ සහිත ගලක් පැළඳීම නිසා වසරක් තුළ මරණයට පත්වීමට ඉඩකඩ බොහෝය. ක්‍රම ක්‍රමයෙන් ආර්ථික පිරිහීමට ශරීරයේ සුවපත් කළ නොහැකි රෝග මතුවීමට ඉඩ ඇත. එසේම ආපෝ, තේජෝ, වායෝ ආදී ලෙස පංච මහා භූතයන්ට අනුවද මැණික් වර්ග කෙරේ. ආපෝ ගුණය දියමන්ති හා මුතු ආදියෙන්ද, තේජෝ ගුණය රතු මැණික් හා රතු කොරල් තුළ ද වායෝ ගුණය, නිල් මැණික් තුළ ද, පඨවි ගුණය එමරල් තුළ ද, අකාශ ගුණය පුෂ්පරාග තුළ ද පවතී, මෙම ගුණයන් ජන්මියාට විවිධ ආකාරයට බලපායි. එම නිසා අපරික්ෂාකාරී ලෙස මැණික් යෙදීම කළහොත් අනිටු පල විඳීමට සිදුවනු ඇත.
යමෙකුට මැණික් පැළඳීමේ ක්‍රමවේද ගණනාවක් පැවතියද සුදුසුම ක්‍රමවේද කිහිපයක් සඳහන් කරමු. ගත කරන මහ දශාව අනුව මැණික් පැළඳීම, තම රැකියාවට අදාළව පැළඳවීම, රෝගවලින් මිදීම සඳහා මැණික් පැළඳවීම, පවතින නඩුහබ ගැටලු සඳහා ද ජන්ම පත්‍රයේ සුබ කාරක ග්‍රහයන් සොයා බලා ඒ අනුව පැළඳවීම, තම ඉෂ්ඨ දේවතාවාට හිමි මැණික් පැළඳවීම, පංච මහා භූතයන්ට අනුව මැණික් පැළඳවීම හෝ යෝග කාරක ග්‍රහයා අනුව සිදුකිරීම ඉතාම යහපත්ය. මෙම ක්‍රමවේදය තාමසික ප්‍රකාරය නම් වේ. එනම් ග්‍රහයකු සතු බලය විනාශ කිරීමට ඔහුට වඩා බලවත් ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කර ගැනීමය. යම් දරුවකුට ඉගෙන ගැනීමේ යම් දුර්වලකමක් පවතී නම් එයට අදාළ ග්‍රහයාගේ බලය නැති කිරීමට සුදුසු ග්‍රහයකු බලවත් කළ යුතුය. එනම් ඒ සඳහා බුධ බලවත් කරගැනීමට හැකිය. යමකුට රැකියා ස්ථානයේ බාධක හිරිහැර පැමිණි විට ඊට හේතුවන කරුණු සොයා ඊට අදාළ ග්‍රහයාට අවශ්‍ය ආකාරයට ප්‍රතිකර්ම කළ යුතුය. යමකුට මාරක අනතුරු තිබේ නම් ඊට අදාළ ග්‍රහයාගේ බලය බිඳ දැමීමටත් සුරාවට ලොල් වූ අයට ඉන් මිදීමටත් අකීකරු දරුවන් කීකරු කර ගැනීමටත් මෙම මැණික් ප්‍රතිකාරය තුළ කළ හැකි දැ බොහෝය. මැණික් පැළඳීම විශේෂයෙන්ම භාවිත කරනුයේ ව්‍යාපාරිකයන් සහ දේශපාලනයට සම්බන්ධ වූ පුද්ගලයන්ය. ඔවුන්ට මහජන ආකර්ෂණය ලබාගැනීමට මැණික් පැළඳීම මහත් පිටුවහලකි. මෙම මැණික් ප්‍රතිකාරය වඩා සුබ වන්නේය. තම අපලකාරක ග්‍රහයාට අනුව යන්ත්‍රයක් පැළඳ සිටියදී හෝ වෙනත් යන්ත්‍රයක් පැළඳ සිටියදී සමහර විට නොදැනුවත්ව කිල්ලට හසුවිය හැකිය. නමුත් මෙම මැණික්වලට එසේ නොවේ. වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය වූවායයි සිතමු. නමුත් ඔහුගේ වාහන කාරක සිකුරු දුර්වල තත්ත්වයක සිටී නම් කිසිදින වාහනයක හිමිකාරිත්වය ලැබීමට නොහැකිය. මෙවැනි ගැටලුවලට මැණික් ප්‍රතිකාරය සාර්ථක පල ලබා දෙයි. රෝග පීඩා සඳහා සහනයක් ලබාගැනීමට මැණික් පැළඳීම. හිතුමතේට එය නොකළ යුත්තකි. පවතින ග්‍රහයාගේ දෝෂය, රෝගය අනුව පළඳින අත, ඇඟිල්ල ආදිය වෙනස් වනු ඇත.
නවරත්න පැළඳිමේදී ගල් නවයම එකතු කර මුද්දක් හෝ තැල්ලක් ලෙස සාදා ගෙන පැළඳීම ද නව ග්‍රහයන් ගේ ආකර්ශනය බලවත් කරන ක්‍රමයක්. එහෙත් එමගින් කිසිදු ග්‍රහයකු සතු බලයක් විශේෂයෙන් වර්ධනය කරන්නේ නැත. ග්‍රහ බලය තුලනය වන බැවිනි. නවරත්න මුද්ද සාදන විට එහි හරි මැදට පද්මරාගද, නැගෙනහිරට දියමන්ති, ගිණිකොනට මුතු, දකුණට රතු, නිරිතට ගෝමේද, බටහිරට කාකනිල්, වයඹට වෛරෝඩි, උතුරට පුෂ්පරාග, ඊසානට මරකත යන ගල් රන් හෝ රිදී වලින් බැඳගත යුතුය.
Thank you for reading!