අකුරු කියවීම
දරුවා බහ තෝරණ වියේදී අකුරු කියන්නට දෙමාපියන් විශාල උනන්දුවක් දක්වති. එහිදී දරුවකු පස් වස සම්පූර්ණ වීමට ප්‍රථම සුබ වේලාවකදී දරුවාට අකුරු කියවීම කළ යුතුය. බෞද්ධ දර්ශනයේ පිළිගැනීම අප සංස්කෘතියට සම්බන්ධ වීමත් සමගම මෙම අතිශයින්ම වැදගත්වූ කටයුත්ත සඳහා අප මුතුන්මිත්තන් විසින් අපගේ ගමේ පන්සලේ වෙසෙන උගත් භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාද ඇතිව ඔවුන් ලවා තම දූදරුවන් හට අත්පොත් තැබීම සිදුකර ඇත. එමෙන්ම මෙයට අනුගත වීමට විශේෂ වූයේද, මෙම කාල පරාසයේදී ළමයින් හට අකුරු ඉගැන්වීමේ මධ්‍යස්ථානය වූයේද ගමේ විහාරස්ථානය නොහොත් පන්සල වීමයි.
මෙහිදී මෙම කාර්යයේ කොටස් කරුවකු වන ගණදෙවියන් හට විශේෂ නැකත් හිමිවේ. මහා දේව මණ්ඩලයේ ඥනාධිපති ග්‍රහයා ගණ දෙවියන්ය. ගණපති, ගණේෂ, විග්නේශ්වර යනාදී නම් වලින් මෙතුමා හැඳින්වේ. ගණ දෙවියන් හට පුදපූජා නිසිලෙස පවත්වා තම දරුවනට අකුරු කියවීමෙන් දරුවාගේ ඥන ශක්තිය හා ධාරණ ශක්තිය ඇතිවී දරුවාගේ අනාගතය සාර්ථක වේ. එමෙන්ම මෙම සුබ කටයුත්තේදී සියලු කලා ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී දේවිය නැමදිමද සුබ කටයුතු බවද පිළිගැනීමක් ඇත. කෙසේ නමුදු බෞද්ධයන් වන අපි මෙම සුබ හෝරාවට පෙර තම දරුවා සමඟ තෙරුවන් වැඳ නමස්කාර කර සිටීම යහපති. ඉන් අනතුරුව ඉහත පෙන්වාදුන් දෙවි දේවතාවුන් වහන්සේලා වැඳ නමස්කාර කර ඔවුන් පිහිට හා ආරක්ෂාවීමද ලබාගැනීම යහපත්ය.
දෙමාපියන් වශයෙන් ඔබ මේ සඳහා යොමුවීමේදී තම දරුවාට අකුරු කියවීම කළ යුත්තේ කවුරුන්දැයි යන්න තීරණය කිරීම ඔබ විසින් කළ යුතුයි. මෙය දෙමාපියන් විසින් ඉටු නොකරනවා නම්, මේ සඳහා ඔබ තෝරාගනු ලබන පුද්ගලයා දැනඋගත් කමින් හෙබි ගුණගරුක අයෙකු විය යුතුය. එමෙන්ම මෙම අවස්ථාවේ සාර්ථකව අකුරු කියවීම හා ලිවීම දරුවා වෙතින් සිදුවීමට නම්, අප තොරාගත් උගත් පුද්ගලයා දරුවා කලින් දැනහඳුනන සමීපව සිටි අයෙකු විය යුතුය. ප්‍රථමයෙන්ම සුබ හෝරාව ළංවෙත්ම දරුවා අතට බුලත් අතක්දී අකුරු කියවන වියතාණන්ගේ දෙපා නැමද ආශිර්වාද ලබා ගත යුතුයි. මෙහිදී අකුරු කියවන වියතා විසින් දරුවා වෙත හෝඩි පොත, ගල්ලෑල්ල, ගල්කූර යනාදී දේ පිරිනැමිය යුතුයි. මේ අවස්ථාවේදී නැවත වරක් ගුරුතුමාට හෝ වියතාණන්ට වැඳ නමස්කාර කර, ඔහු දරුවා අත තැබූ පොත්පත් හා ගල්ලෑල්ලටද වැඳ පිළිගැනීම කර විය යුතුයි. පසුව සුබ වේලාවේදී දරුවා ලවා අකුරු කිහිපයක් හඬනගා කියවීම හා ලිවීම කළ යුතුයි. මෙය දරුවකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සන්දි ස්ථානයක් බැවින්, අකුරු කියවීම ශිල්ප හැදැරීම සඳහා සුදුසුම නැකත්, හෝරා පවතින දින කාල වකවානුවක් තෝරා ගත යුතුයි.
අකුරු කිරීමේදී කරන වරදනම් “පොදුවේ” සුබ නැකැත් දිනයක අකුරු කියවීමයි. එහෙත් එය වැරදිය. එක් අයෙකුට සුබ නැකත අනෙකකුට අසුබ නැකතක් විය හැක. “සරස්වතී යෝගයක්” සහිත දිනයකදී අකුරු කියෑවීම සුබ වුවත් ඒ සරස්වතී යෝගය ඇත්තනේම සෑම අයකුටම නොගැලපේ. උදාහරණයක් ලෙස “අස්විද නැකතින් උපන් දරුවෙකුට “බෙරණ” නැකත “සම්පත්” නැකැතක් වුවද “රෙවතී” නැකතින් උපන් අයෙකුට “බෙරණ” නැකත “විපත්” නැකතක් වේ. “කැති” නැකතින් උපන් අයට “දේව” නැකත “විඳ” නැකතක් වුවද “අද” නැකතින් උපන් අයට එය ක්ෂේම නැකතක් වේ. මෙයින් පෙන්වන්නට අදහස් කළේ පොදුවේ සියල්ලටම “අවුරුදු” නැකත මෙන් එකම නැකතක් සුදුසු නොවන බවයි. එසේම මෙසේ “පොදු” නැකත් සාදන්නේ කොළඹට ඉර උදාව සලකා බලාය. එහෙත් සෑම දිනකම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉර උදාව වෙනස්ය. උදාහරණ සේ කොළඹට වඩා නුවරට ඉර උදාව විනාඩි තුනක වෙනසක්ද අක්කරපත්තුවට විනාඩි අටක්ද වෙනස් බැවින් වද හෝ විපත් නැකතකින් පළමු අකුර කියවූ දරුවාට එම කාර්යයෙන් බලාපොරොත්තු වූ උසස් ප්‍රතිඵල නොලැබේ.
අකුරු කියවීම සඳහා අස්විද, රෙහෙණ, මුවසිරිස, පුනාවස, පුෂ, හත, සිත, සා, අනුර, සුවණ, සියාවස, රේවතී යන නැකත් සුබ බව පෙන්වාදී ඇතත්, මේවා දරුවාගේ ජන්ම නැකතට සීහෙන නොහොත් ගැලපෙන එකක් විය යුතුය. සුබ දින වශයෙන් බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයක සුදුසුම හෝරාවක, සුදුසුම පංචම කාල හෝරාවක, අට වැන්නේ කිසිදු ග්‍රහයකු නැති අවස්ථාවක, උභය ලග්නයක් උදාවූ වේලාවත් අල්ලා මෙම නැකත පිළියෙල වීම යහපති. අකුරු කියවීම සරස්වතී යෝගයක් උදාව පවතින විටදී සිදුකිරීම තුළින් යහපත් ඵල නෙළාගත හැකිබව පෙන්වාදිය හැක. මෙය බුධ දින කන්‍යා ලග්නය උදාවී ඇති හෝරාවේ රවි ග්‍රහයා සමඟ බුධ යෝගව, බුධ අති උච්ච අංශකයේ හෙවත් කන්‍යාවේ මැද අංශකවල සිටිනා විට යෙදේ. තවද මීන ලග්නයේ විසිහත්වැනි අංශකයේ සිකුරු සිටින, සිකුරාදා දිනයේ ද මෙම යෝගය යෙදෙනා බැවින් ඉහත කරුණු සැබෑවී ඔබේ දරුවාට ශ්‍රී සරස්වතී දේවියගේ වරම් ලැබී තීක්ෂණ බුද්ධිය හා ධාරණ ශක්තිය පහළවී හෙට දින මතුවන ගුප්ත මහ වාසලින් ඇතුලේ අනාගත ලෝකය කියන සුන්දර විමන හමුවීමට මෙම අගනා සරස්වතී යෝගයෙන් අකුරු කියවා තෙල්, බෙහෙත්, කල්ක ආදිය සාදා සරස්වතී වරම් ලබා ගන්න. මීට අමතරව ඔබගේ දරුවාට අකුරු කියවීමට සරස්වතී යෝගය උත්තම වන අතර මෙම හෝරාවෙන්, වද, අරළු, වංමුතු, කිඳිගැට, වගපුල් හාතාවාරිය අල, සිධිගුරු සම භාගව ගෙන මින් කළඳක් දුදු තෙලෙන් කකාරවා, රෑ බත්කා ඉක්බිති කළඳ බැගින් දින 21 ක් වළඳිමෙන් පන්සියයක් ධාරණය වී නුවණ පහළ වන බවද ජ්‍යොතිෂ්‍ය පුරා වෘතයනහි දක්වා ඇත.
තවද සරස්වතී දෙවියන්ට පූජාව සදහා සුවඳ ධූපයන් හා මල් පලතුරු වර්ග නිසි ලෙස පුදා පහත ස්තෝත්ත්රය නව වර, විසි එක් වර හෝ 108 වරක් ගායනා කරන්න.
සරස්වතී මහා දේවී විණා පුස්තක ධාරණී – හංස වාහන සමායුකෙත විද්යාඥානං කුරු මම – සරස්වතී නමෝ තුයියං වර දේව කාම රූපණී – විද්යාරමභං පරිස්සාමි සරස්වතී නම සතුතෛ
ඖෂධීය කල්කය මතුරන මංත්රය – “ඕං නමෝ ආත්ම කාලි පිරිවා කාලි මෙනෙම්මලි නිද්දොස භගවතී සිඬි සිඬි ඒසවාහඃ” මෙයින් 1008 වරක් නෙළුම් රේණු, දුණුවිල, ගිතෙල්, මීපැණි, උක් හකුරින් අඹරා උදේ හතක් පාඩම් කිරීමට පෙර දිව අග ගාන්න ගෑමෙන් ඔබගේ ධාරණ ශක්තිය මනා ලෙස ඉහල යයි.
තවද සාමාන්‍ය වශයෙන් දරුවන්ගේ ග්‍රහ අපල ඇත්නම් එයට අදාළ ග්‍රහ පූජා පිදීම, රිදී මුදුවක පච්ච ගලක් අල්ලා මුදුවක් පැළඳීම, සිවුරු පූජා කිරීම, පොත්පත් පුස්තකාලයකට නම ලියා පිදීම, උක් හකුරු, නිල් වස්ත්‍ර දුගී මගී යාචක දාන, බුදුන්ට සුවඳ ධූප පුදා පිංදීම ආදිය නියම කොට ඇත. බුධග්‍රහයා විශේෂයෙන් විෂ්ණු නියෝජනය වන නිසා විෂ්ණු දේව රාජයාණන්ට භාරහාර වීමද කෙරේ.
Thank you for reading!